“කුණු කුණු කුණූඌඌඌඌ…..කුණු ගේන්ඩඅඅඅඅඅඅ….”
දුගඳ මුසු වූ සුපුරුදු හඬ ගේට්ටු අස්සෙන්, තාප්ප උඩින් සහ කානු දිගේ, ගෙවල් වලට ආරංචිය ගේනවා.
කුණු ට්‍රැක්ටරය ඇවිත්!
එක එක මාදිලියෙ ගැහැනු මිනිස්සු තම තමන්ගෙ කුණු භාජන සහ මලු ළඟට කරගෙන ඔන්න වීදිය දෙපැත්තෙ හිට ගන්නවා.
“බලන්නකො මේ මිනිස්සු අපේ කුණු ටික දාලා ගිහිං…ගේට්ටුව ඉස්සරහ පේන්නම තියෙද්දිත්…චිහ්! පොඩ්ඩක් එහා මෙහා වෙලා අපි පේන්න හිටියෙ නැත්තං කුණු දාලා යනවා, ජරා මිනිස්සු!
කාන්තාවක් තම අසල් වැසියාට කියනවා ඇහෙනවා.
“මටත් එහෙම අත්දැකීම් තියෙනවා…සමහර දාට කුණු දාලා යනවා…ඇත්ත තමයි!”
මං අල්ලපු ගෙදර හිතවතාට කිව්වා.
“මෙහෙමනෙ…කීයක් හරි දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නෙ…දන්නවනෙ අපේ රටේ හැටි!”
ඔහු කියන්න ගත්තා.
“මාත් අර හැමෝම කරන නිසා රුපියල් විස්සක් දෙනවා කුණු එක දෙන ගමන්”
අල්ලස් දීම ගැන හිතේ කණස්සල්ලකින් මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
“මං නං 50 ක් 100 ක් වගෙ දෙනවා…එහෙම නැත්තං ඕකුන් එන්නෑ! අපි දන්නවනෙ…”
“අපි බදුත් ගෙවල… ඇයි අල්ලසුත් දෙන්නෙ?! අන්තිමට ඒ මිනිස්සු රාජකාරියත් පැහැර හරිනවා….”
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
“මේ යකාට පිස්සුද මන්දා!”
අල්ලපු ගෙදර හිතවතාගෙ ඇස් යට බැල්මෙ තිබුණෙ එහෙම කතාවක්, ඒත් ඔහු “අනේ මන්දා!” කියමින් හෙමින් ගේට්ටුව වහ ගත්තා.
“අපි කම්ප්ලේන් කරමුකො, එහෙම අල්ලස් ගන්න දෙන්න බැහැනෙ…”
“බලන්න! ඔයගොල්ලො කරන්නෙ වෘත්තියක්නෙ…නේද?”
කුණු ට්‍රැක්ටරයෙ අයගෙන් මං එහෙම අහනවා.
“ඔව්! ඉතිං…මොකද්ද අවුල?”
ඒ කෙනෙක් ඇහුවොත්?!
“ඇයි තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැත්තෙ?”
“ඒ කියන්නෙ?”
“ඔයාලට සල්ලි දුන්නෙ නැත්තං ඔයාල කුණු දාල යනවා…එහෙම බැහැනෙ, ඔය රාජකාරිය කරනවට රජයෙන් පඩි ගෙවනවනෙ…ඒ පඩි ගෙවන්නෙ අපේ බදු මුදල්වලින්…ඔය අල්ලස් ගැනිල්ලක්!”
මං එතකොට කියනවා.
“මහත්තයා මේ රටේ කෙනෙක් නෙවෙයිද? ඔළුව නරක් වෙලාද? එක්කො අපිව විහිළුවකට ගත්තද? ඈ!”
කුණු ට්‍රැක්ටරයෙ ගුජු ගුජු හඬ යටපත් කරගෙන කෙනෙක් උස් හඬින් අහනවා.
“අල්ලස් ගන්න එපා! ජොබ් එක කරන්න!”
මං අවධාරණය කරනවා.
“එතකොට අර මහ එවුන් කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් ගන්නවා…හොරකං කරනවා…මහත්තයාට හොඳයි! අපි කීයක් හරි ගන්න එක තමයි ලෙඩේ…අනේ නිකං යන්න මහත්තයා…!”
එහෙම කිව්වොත්?! එතකොට…
“ඔහොම කියනවා නං…ඒකම කරනවා නං…ඔයාලට විරුද්ධව පැමිණිලි කරනවා…අල්ලස් ගන්න එක නීති විරෝධියි! තේරුණාද?”
මං කියනවා.
“පැමිණිලි? අපිට විරුද්ධව? කාටද ඔය පැමිණිලි කරන්නෙ? අපේ ලොක්කොත් හොඳට ගහනවා…හිහීඊඊඊ…”
“උඩට උඩට පැමිණිලි කරගෙන යනවා…එතකොට?”
උඩට! උඩට! කියල බර කරල කියනකොට හිතට ලැජ්ජාවකුත් ආවා, ඒත් ඒක මෙයාලට පෙන්නන්න හොඳ නැහැ.
“අල්ලස් ගන්න බැහැ! එච්චරයි”
“අපිට පාට් දාන්න ආවොත්, අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා….එතකොට කුණු ගොඩ ගැහෙයි, හරිද?”
“වෘත්තීය සමිති ක්‍රියාමාර්ග?”
මොකද්ද එතකොට මං කියන්නෙ?!
“ගනං ගන්න එපා…කීයක් හරි දීල වැඩේ කර ගම්මු…”
අල්ලපු ගෙදර හිතවතා හෙමින් ගේට්ටුව ඇරල ඔළුව දාලා කිව්වා.
CHAPA
July 5, 2019