වෙස්මුණ ගලවමු!

දැන් ඉතිං කොහොමද අපි මේ වෙස් මූණ ගලවගන්නෙ?!
ලයනල් වෙන්ටඩ් ශාලාවෙ මැද හරියෙ අසුනකට බර දීලා මම කල්පනා කරමින් හිටිය. ඒ, 2018 ජුලි 12 රෑ, ලුෂන් බුලත්සිංහල ගොඩ නගන ”වෙස්මුණ ගලවන්න” වෙදිකා නාට්‍යයට සම වදිමින් ඉන්න අතරෙ!
ගීතමය ආකෘතියකට දිග හැරෙන රංගනය ට පසු තිරය මත වරින් වර රුපවාහිනී ප්‍රවෘත්ති කොටස් විකාශය වෙන නිසා, එය එක විදිහක නවමු අත් දැකීමක් තමයි. නාට්‍ය කණ්ඩායම තරුණයි, ජව සම්පන්නයි, දක්ෂයි – ඒ නිසාම ආකර්ශනීයයි.

වෙස්මුණ ගලවන්න යෝජනා කරන මේ කතාව කේන්ද්‍රගත කෙරෙන්නෙ, උතුරෙ යුද්ධය පවතින අවසන් කාලයෙ, දකුණෙ පවත්වාගෙන යන කැරොකි සමාජ ශාලාවකට. එහි යන එන සහ ඒ මත බලය පතුරුවන ඇමති පුතෙක් සහ ඔහුගෙ පන්තියෙ මිතුරෙක් ඉන්නවා. කැරොකි සමාජ ශාලාවෙ වැඩ කරන තරුණියක් එක්ක යාළු වෙන්න ඒ ඇමති පුතාගෙ මිතුරා උත්සහ කරනවා.

ඒ, දෙමළ තරුණියක්, දකුණු පළාතක ඉපදිලා 83 කළු ජූලියේදී උතුරට පැන ගොස් LTTE යට සම්බන්ධ වූ කොටි සෙබළියක්. ප්‍රජාතන්ත්‍රවාදී නොවන ප්‍රභාකරන් සමඟ එකඟ වෙන්න බැරි නිසා තමයි ඇය තම මව සමඟ යළි දකුණට පැන ඇවිත් සිංහල නම් වලින් සැඟවී පෙනී ඉන්නෙ. ඇය මේ උත්සහ කරන්නෙ කැරොකි වලින් මුදල් උපයා ඔස්ට්‍රේලියාවට ගොස් කඩාකප්පල් වූ අධ්‍යාපනය යළි ලබා ගන්න. ඇයට පෙම් බඳින, ඇමති පුතාගෙ යාළු තරුණයා මේ කතාව දැන ගෙන, ඇය කෙරෙහි තිබෙන ආදරය නිසා ම ඇයට තම අරමුණ ට ළඟා වෙන්න උදව් කරන්න තීරණය කරනවා. ඇමති පුතාත් ඊට සහය දෙනවා.

ඒ තරුණ පෙම්වතාගෙ පියා, පරණ යකඩ විකුණන ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහුට ඔය කියන පුතා සහ දුවක් ද සිටිනවා. බිරිඳ නැති නිසා විවාහයක් කර ගන්නත් කල්පනා කරමින් ඉන්නවා. වරෙක ඔහුට කපුවෙකුගෙ මාර්ගයෙන් අර දෙමළ තරුණිය විවාහයට යෝජනා කෙරෙනවා. ඔහුගෙ රියදුරා, අන්තිමට හෙළිවන විදිහට ඒ දෙමළ තරුණියගෙම සහෝදරයා. ඔහුත් සිංහල නමකින් සැඟවී සිටිනවා. ඔහු අර කතා නායක තරුණයාගෙ අක්කා සමඟ හෙවත් ව්‍යාපාරිකයාගෙ දුවගෙ පෙම්වතා.

පෙළ ගැහෙන සිදුවීම් අතර ඔවුනොවුන් අන්තිමට මුණ ගැහෙනවා. ඒ අතරෙ, ඒ දෙමළ තරුණියගෙ පියා මුස්ලිම් වේශයකින් අදාළ ව්‍යාපාරිකයා මුණ ගැහෙන්න එනවා, ඔහු වෙස්වලා ගත් වෛද්‍යවරයෙක්, ඔහු එක මොහොතක මරණයෙන් ගළවා ගන්න මුස්ලිම් ජාතිකයන් පිරිසක් නිසා තමයි තමයි ඔහු ඒ වේශයට මාරුවෙලා තියෙන්නෙ. මේ කියන ව්‍යාපාරිකයාගෙ දරු දෙන්නා ප්‍රසුත වෙලා තියෙන්නෙ ත් ඒ කියන වෛද්‍යවරයාගෙ සහයෙන්. ඒ කියන්නෙ ඔවුන් ඉතා විශ්වාසවන්ත මිතුරන්.

ඔය වෙනකොට ඇමති පුතාගෙ සැලැස්මකට අනුව, අදාළ ව්‍යාපාරිකයාගෙ පුතා හෙවත් කතා නායක ඇමති පුතාගෙ මිතුරා පැහැරගෙන යෑමේ නාට්‍යයක් මගින් සුක්‍ෂම ලෙස රුපියල් කෝටියක් උපයා ගැනීමට සමත්වන ඔවුන්, එම මුදල් කතා නායිකාව හෙවත් දෙමළ තරුණිය, ඇයගේ සහෝදරයා සහ මව ඕස්ට්‍රේලියාවට යැවීමට යොදවනවා. අන්තිමට, සිංහල තරුණයා සහ දෙමළ තරුණිය ආදරයෙන් එකිනෙකා ගිවිසගෙන, උනුන් සතුටින් විසිර යනවා.
කතාව සරලව ඕකයි!

මේ කතාව ගොතන අතරෙ, නාට්‍යකරුවන් ප්‍රේක්ෂකයන්ට කියන්න උත්සහ කරන්නෙ, දෙමළ සුළුතරය, සිංහල මහා සමාජය තුළ අසාධාරණයට පත් වෙනවා සහ ඒ අනුව උතුරේ යුද්ධය හට ගත්තා කියන එක. දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් මේ අර්බුදය තම වාසියට යොදා ගන්නා බව කියන්න උත්සහ කළත්, නාට්‍ය තුළ වැඩියෙන් ඉලක්ක කෙරෙන්නෙ සිංහල මහා සමාජයෙ අධිපතිවාදයක්, විශේෂයෙන්ම සිංහල බෞද්ධකමට පදනම් වුණු, දෙමළ ජනයාට එරෙහි ලාංකේය දේශපාලන හතුරෙක්. ”වෙස් මුණ ගලවන්න” අවසන් වශයෙන් ඉලක්ක කරන්නෙ ‘සංහිඳියාව’ ඒ සඳහා ‘ආදරය’!
ලුෂන් බුලත්සිංහල මේ නාට්‍යමය විග්‍රහය කරන්නෙ 1980 ගණන් වල නැවතිලා – තමන්ට කැමති තැනක!
ඒ නිසාම, ලංකාවෙ තිස් වසරක යුද්ධයෙ ආරම්භය සහ විකාශය ඔහුට හරියට ග්‍රහණය වෙන්නෙ නැහැ. මේ දේශපාලන ඛේදවාචකය වටා ජාත්‍යන්තර සහ කළාපීය දේශපාලන තත්වයන් ගැට ගැහෙන විදිහ, විශේෂයෙන්ම ”යුද්ධය නැත්තං සාමය” එක විදිහට ම විකුණන අර කියන මහා වෙළෙඳපොළ ලෝකය ලූෂන් ට මග හැරෙනවා. ඔහුගෙ නාට්‍යමය කියවීමෙ තැනක, අර පසුබිම් රුපවාහිනී ප්‍රවෘත්ති අතර ජාත්‍යන්තර අප්පච්චිලා ඉන්න බව කියැවෙන අවස්ථාවකුත් උපුටා දක්වන්න ඔහු උත්සහ ගන්නෙ ඒ නිසා තමයි, ඒ කියන්නෙ යුද්ධයෙ අන්තිම හරියෙදී, රාජ්‍ය හමුදා බර අවි යොදාගෙන ප්‍රහාර එල්ලකරපු නිසා එක්සත් ජාතීන්ගෙ බෑන් කිං මුන් විශේෂ අවධානය යොමු කරන බව අදාළ ප්‍රවෘත්තියෙන් කියවෙනවා, ඒ අනුව මේ නාට්‍යකරුවා, තිස් වසරක කුරිරු යුද්ධය මේ රටේ සිංහල – දෙමළ ප්‍රශ්නයක් පමණක් බවට අකුළා දමනවා. ඔන්න එතකොට ම, මේ මොහොතෙ – මේ පොළොවෙ තොරොම්බල් කෙරෙන ‘සංහිඳියාව’ කියන සීතල බිහිසුණු ව්‍යාපෘතිය ට, ලුෂන්ලාත් අහු වෙනවා.

සමස්ත දේශපාලන ඛේදවාචකය සිංහල දෙමළ මිනිස්සුන්ගෙ ආදරය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා, ඔන්න එතකොට ”ඔබේ වෙස් මුණ ගලවන්න!” කියල කෙනෙක් අනෙකාට කියනවා. හරි! අපි හිතමු එහෙම අනෙකා වෙස් මුණ ගැලෙව්වා කියල, එතකොට තමයි ඒ අනෙකා දකීන්නෙ, තමන්ට වෙස් මුණ ගලවන්න කියන දැන් ‘අනෙකා’ ත් වෙස් මුණක් දාගෙන ඉන්නෙ කියල, එතකොට ලුෂන් වගේ අය කියයි, දෙන්නම වෙස් මුණු ගලවන්නකො! වැඩේ ඉවරනෙ, කියල.
”නැහැ! වැඩේ ඉවර නැහැ…”
ගලවන්න ඕන, මේ දේශපාලන අර්බුදයට දාලා තියෙන වෙස් මුණ! එතකොට තමයි අපි හැමෝගෙම වෙස් මුණු ගලවන්න ඕන කියන කතාවට වටිනාකමක් ලැබෙන්නෙ, ඒ පුළුල් දේශපාලන සංවාදය ගොඩ නැගෙන්න, එක අතකින් හරස් වෙන්නෙත් මෙන්න මේ වගෙ නොමේරු දේශපාලන වේදිකා තමයි.

නාට්‍ය ඉවර වුණාම කොල්ලො කෙල්ලො බර ගණනක් ප්‍රේක්ෂකාගාරය දෙවනත් වෙන්න ඔල්වරසන් නැගුවා. ඒ, වේදිකාව හැඩ කරන තම සගයන් පිළිගන්න මිසක් නාට්‍යයෙ දුර්වල අන්තර්ගතය පිළිගන්න නෙවෙයි වෙන්න ඇති! කියල මම හිත හදා ගන්නවා.

ඒත්, ප්‍රවේශපත් මිල දී ගෙන නාට්‍ය නරඹපු අපි වගෙ යම් පිරිසක් හැරුණු කොට ඉස්සරහ පේළි අරක් අරගෙන හිටිය, බහුතරයක් වූ ආරාධිත සංහිඳියා ඒජන්තවරු දකින කොට හිතේ පොඩි තැති ගැන්මක් ඇති නොවුණා නෙවෙයි. හේතුව, රට බෙදුම්වාදී ආකෘතියකට මාරු කරන ව්‍යවස්ථා වෙනස කරන්න අවශ්‍ය පොදු සමාජ මනෝභාවය සකස් කරන්න, ඉතා සුක්ෂම මනෝ විද්‍යාත්මක ක්‍රියාන්විතයක් දියත් වෙමින් තියෙන නිසා. ඒ සඳහා ඩොලර් වැස්සක් වහින නිසා.

ම්ම්ම්…වෙස් මුණ ගලවන්න! මේ එහි තවත් එක නිර්මාණ ව්‍යාපෘතියක් ද?
සමහවෙලාවට, ලුෂන් බුලත්සිංහල ඒ ගැන දන්නෙ නැතුව ඇති! අනේ මන්දා!

CHAPA, July 14, 2018