”මම ලලිතා සරත්චන්ද්ර…මාව දන්නවද දන්නෑ…මම නං ඔබේ වැඩසටහන් බලනවා, කතා කරන්න ලැබීම සතුටක්..!
සතියකට දෙකකට පමණ පෙර දවසක ඇසුණු ඇයගෙ දුරකථන හඬ, ඉතිහාසයේ තැනක මාව නැවැත්තුවා.
”ඔබ ගැන නොදැන කොහොමද? එදිරිවීර සත්චන්ද්ර කියන්නෙ අපේ රටේ එක යුගයක්, ඔබ එහි පංගුවක්, හඳුණා ගන්න ලැබීම සතුටක්…!”
මගේ හිත උද්දාමයට පත් වෙලා, හඬත් උණුසුම්!
ඇයට ඕන වුණේ, පහුගිය 13 වැනිදායින් අවසන් වුණු එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත් වුණු සරත්චන්ද්ර නාට්ය දැකමට මට ආරාධනා කරන්න, ඉතිං නොගිහිං කොහොමද!
වරින්වර ශිල්පීන් මාරු වෙමින් ඉදිරියට යන ‘සිංහබාහු’ අන්තර්ගතය සහ ප්රකාශනය එලෙසින්ම එදත් දැක ගත්තා, සතුටුයි! ඉතාම දක්ෂ ශිල්පීන් පෙළක් සිංහයා පිරිවරාගෙන වේදිකාව දෙවනත් කරද්දි, සරත්චන්ද්ර යුගය පිළිබඳ – තවම ගොඩ නොනැගුණු මහා සංවාදය තුළ මං හුදකලාවෙ බලාගෙන හිටියා.
නාට්යමය අත්දැකීමෙන් පස්සෙ ඒ වේදිකාව මතදීම මුල්ම වතාවට ලලිතා සරත්චන්ද්ර මහත්මිය මුණ ගැහුණා – ඓතිහාසික අත්දැකීමක්! ඇය ජවසම්පන්න සහ ජනකාන්ත කාන්තාවක් වගේම තාරුණ්යයට සම තත්ත්වයේ හිඳිමින් පාර කියන්නියක්! ඇය එදිරිවීර සරත්චන්ද්රගෙ පංගුවක්ම තමයි, කිසිම සැකයක් නෑ!
මේ මොහොත සම්බන්ධීකරණය කරපු, සිංහ සීවලීට පණ පොවන ශිල්පිණියගෙ සැමියා, ඔහුත් ඒ වේදිකාවෙම සංගීත ශිල්පියෙක් – ඔෂාන් ( නම හරි නේද මිත්රයා? ) ඔබට ස්තූතියි!
යෝජිත, එදිරිවීර සරත්චන්ද්ර මහා සංවාදය අභියස දවසක අපි මුණ ගැහෙමු!
CHAPA, Sept 15, 2025



















