කේ. චාපාබණ්ඩාර
375/4/B /1, 8 වැනි පටු මග, රත්නාරාම පාර,
හෝකන්දර
2020 සැප්තැම්බර් 12
ලේකම්,
උසස් නිලතල පිළිබඳ කාරක සභාව,
කාරක සභා කාර්යාංශය,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
මිලින්ද මොරගොඩ, ඉන්දියානු මහ කොමසාරිස් ධූරයට පත් කිරීමට එරෙහි විරෝධතාව
යොමුව: පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සඳහා, ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට මිලින්ද මොරගොඩගෙ නම නිර්දේශ කර තිබෙන බවට සඳහන්, 2020 සැප්තැම්බර් 23 දාතම ඔබේ නිවේදනය හා සබැඳියි.
- ශ්‍රී ලංකාව, මේ වනවිට, චීන සේදමාවත ව්‍යාපෘතියෙ ( China One Route One Belt ) සහ ඊට එරෙහි, ඉන්දු ශාන්තිකර කලාපීය භූ දේශපාලනික ක්‍රියාන්විතයෙ ( Indo Pacific Geo Political Operation ) සෘජු ගොදුරක් බවට පත්ව තිබේ. ACSA, SOFA සහ යෝජිත MCC යනු ඒ දේශපාලන ඛේදවාචකයෙ සමස්ත කූටප්‍රාප්තියයි. එකී මහා මෙහෙයුමේ ඇමරිකානු ඒජන්ත ආයතනය ලෙස 2008 දි මෙරට ආරම්භ කළ Pathfinder Foundation ආයතනයෙ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන මිලින්ද මොරගොඩ, එකී භූ දේශපාලනික උවමනාවන් වෙනුවෙන්, ශ්‍රී ලංකාවට – අපේ මව් බිමට එරෙහිව ක්‍රියාකිරීමට, ශ්‍රී ලංකා ඉතිහාසයෙ ප්‍රථම වරට, කැබිනට් අමාත්යවරයෙකුගෙ පූර්ණ බලතල සහිතව සහ දෙරට අතර දේශපාලන නායකයින් සමග, විදේශ කටයුතු අමාත්‍යංශය නොසලකා හරිමින් කටයුතු කිරීමේ විශේෂ බලයක් සහිතව, මෙසේ ඉන්දියානු මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට නිර්දේශ කිරීම පවා රාජද්‍රෝහී, දේශද්‍රෝහී සහ ජාති ද්‍රෝහී ක්‍රියාවක් බව, මෙරට පොදු ජනතාව වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන් දන්වනු කැමැත්තෙමි.
මේ සම්බන්ධයෙන්, ජනමාධ්‍යකරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස, 2020 ජූලි 31 දා, මා ලියා පළ කළ “MCC වියරු තරුව!” කෘතිය, මේ සමග, ඇමුණුම A ලෙස ඔබේ අවධානය පිණිස ඉදිරි පත් කරමි.
- ඉහත ඓතිහාසික දේශපාලන සංදර්භය තුළ, දශක කීපයක් තිස්සේ, විවිධ පක්ෂ සහ විවිධ ආණ්ඩු සමග එක්ව, මිලින්ද මොරගොඩ, ඉතා උපක්රමශීලීව සහ සංවිධානාත්මකව ඇමරිකානු දේශපාලන අරමුණු ඉටු කර දීමට ක්‍රියා කර ඇති ආකාරය, B, C, D සහ E වශයෙන් මේ සමග ඉදිරිපත් කරන ඇමුණුම් හි සඳහන් Wikileaks විමර්ශන සටහන් සනාථ කරයි, එනම්;
- a) 2000 – 2003 අතර කාලය තුළ මෙරට ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ Ashley Wills ඇමරිකානු රාජ්‍ය වෙත, සාධක සහිතව පැහදිලි කරමින් දන්වා ඇත්තේ, මිලින්ද මොරගොඩ, ඇමරිකානු දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතා දක්ෂ සහ කාර්යක්ෂම ලෙස ක්‍රියා කරමින් සිටිබ බවය. මිලින්ද මොරගොඩ වොෂින්ටන් හි උපත ලැබීම, ද්විත්ව පුර වැසියෙකු වීම, ඇමරිකානු කාන්තාවක් විවාහ කරගෙන සිටීම මෙන්ම ඇමරිකානු ප්‍රධාන රාජ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථාන වන the Heritage Foundation සහ Harvard ආයතන සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම වැනි කරුණු, එකී ඇමරිකානු දේශපාලන උවමනාවන් ඉටුකර දීම සඳහා මිලින්ද මොරගොඩ සතු විශේෂ සුදුසුකම් ලෙස, අදාළ ඇමරිකානු තානාපතිවරයා දැඩි අවධානයට ගෙන තිබේ.
- b)ඉහත 1. හි සඳහන් ඇමරිකානු භූ දේශපාලනික ක්‍රියාන්විතයට අදාළව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුර්වල කිරීමට සහ එහි කේන්ද්‍රීය බලය වන විධායක ජනාධිපති ධූරය අහෝසි කරවා ගැනීමට, එකල චන්ද්‍රිකා පාලනයෙ අමාත්‍ය ධූරයක් හොබවමින්ම, එදවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග මිලින්ද මොරගොඩ කුමන්ත්‍රණය කර ඇති ආකාරය ද මේ හරහා කරුණු සහිත ඔප්පු වේ.
- තවද, මිලින්ද මොරගොඩට, 2001 වන විට අධ්යක්ෂ ධූරය දැරූ Mercantile Credit මූල්‍ය සමාගම බංකොලොත්වීමෙන් පසු, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් ණය මුදල ආපසු ගෙවීම උපක්රමශීලීව මග හැර වංචා කිරීමෙන් “බරපතළ මූල්‍ය අපරාධයක්” සහ එමගින් “ මහා පරිමාණ රාජ්‍ය දේපොළ අවභාවිතකිරීමක්’’ සිදුකර තිබේ. 2004 දෙසැම්බර් 31 වන විට මිලින්ද මොරගොඩ, එජාප මංත්රීවරයෙක්ව සිටිමින්ම එසේ නොගෙවූ මුදල වාර්තා වන්නේරුපියල් බිලියන 4. 7ක් ලෙසය.
මේ අනුව, මිලින්ද මොරගොඩ, ඉන්දියානු මහකොමසාරිස් ධූරයට පත් කිරීම අනුමත නොකරන ලෙස තරයේ ඉල්ලා සිටිමි!
මේ සම්බන්ධයෙන් ‘නිදහස්’ YouTube අවකාශයට මුදා හැර තිබෙන විශේෂ විඩියො සටහන්ද ඔබේ අවධානයට යොමු කරමි.
- https://www.youtube.com/watch?v=nRmk66UqRWY&t=1008s
- https://www.youtube.com/watch?v=-xw6QZR8YWM&t=107s
- https://www.youtube.com/watch?v=Radpzbu8fm8
- https://www.youtube.com/watch?v=kWk-MUIBx3k&t=108s
ස්තූතියි!
කේ. චාපාබණ්ඩාර ( CHAPA )