”මට පුතා ගැන ආඩම්බරයි…හුඟාක් සතුටුයි!”
ඈත සුන්දර කාලයක සජීව දසුන් මා ඉදිරිපිට මවමින්, එකවර! ඒ දයාබර හඬ ජංගම දුරකථනය දිගේ ඇදීගෙන ඇවිත් මගේ හිත නොඉවසිල්ලෙන් පහුරු ගාන්න පටන් ගත්තා, ටිකකට කලින්!
ප්රේමදාස මුත්තෙට්ටුගේ Sir!
මගේ 10 පන්තියේ ගණිත – විද්යා ගුරුවරයා!
ටික දවසකට කලින් මගේ fb එකට friend request එකක් දාලා තිබුණු, මේ මගේ දයාබර ගුරුවරයාගෙ නම සහ ඒත් එක්කම තියෙන Profile Picture එක දැකල මං ගැස්සුණා, එය අමුතු මිහිරි හැඟීමක්, මට දැනුණෙ මං එක පාරටම ළමයෙක් වෙලා වගෙ.
කොහොම හරි අන්තිමට, දැන් ටිකකට කලින්, අපි දෙන්නා දුර කථනය දෙපැත්තෙන් එකිනෙකාට කතා කරන්න ගත්තා, අපේ ගුරු ගෝල පිළි සඳර ඉවර වුණු ගමන් මං මේ සටහන තියන්න හිතුවා.
රට වටේ ඉස්කෝල කීපයකම ගත වුණු මගෙ ළමා කාලයෙ දවසක, මට ඔහු මුණ ගැහුණා, ඒ අම්පාර දිස්ත්රීක්කයෙ, පදියතලාව මහ විද්යාලයේදි!
ඔහු ඩෙනිමකට කමිසය යට කරල අත් නවල අඳින හුරු බුහුටි තරුණ ගුරුවරයෙක්, ගමනත් අමුතුයි. නිතර ගිටාරයකුත් උරහිසේ එල්ලගෙන යන නිසා ඔහු අපට අමුතුම කතාවක් වුණා. අපි වඩාත් කැමති වුණේ වෙනම තාලයකට වවල තිබුණු ඔහුගේ කොණ්ඩයට සහ මුහුණ පුරා තිබුණු රැවුළට. හිටපු ගමන් උඩු රැවුළෙ කොණක් හපන ගමන් ඔහු, වරෙක සැහැල්ලු මුහුණකින් සහ වරෙක බැරෑරුම් මුහුණකින්, අපට ගණිතයයි විද්යාවයි ඉගැන්නුවා. අපට දැනුනෙ යාළුවෙක් අපට යමක් කියා දෙනවා වගෙ. ඇත්තටම ගණිතය සහ විද්යාව, ඉගෙන ගන්න හිතෙන විෂයයන් දෙකක් බවට පත් කෙරුවෙ ඔහු තමයි. අන්තිමට ඔහු! අපට හොරාම, ඉගෙන ගැනීම අපේ අත්දැකීමක් බවට පත් කරලා.
ඔහු සංගීතය ප්රියකරපු, නිතර ගිටාරය වයන – ගී ගයන ගුරුවරයෙක් වීම නිසා අපේ ඒ දවස් අමුතුම මිහිරකින් පිරිල තිබුණා, ඔහු ඉතාම ඉහළ මට්ටමක විනයක් සහ සංයමයක් පවත්වාගෙන ගිය නිසා, අපිත් ඉබේම හොඳ ළමයි වුණා වගෙ. දන්නෙම නැතුව කාලය ගෙවුණා!
ඉගෙන ගත්තා කියල වෙනම අමුතු දෙයක් කෙරුවෙත් නෑ වගෙ. ඒත් අපේ පන්තියේ හිටපු, මාත් ඇතුළු අති බහුතරය, ගණිතයට – විද්යාවට, එවර අපොස සාපෙළ විභාගයෙන්, සම්මාන සහ විශිෂ්ට සම්මාන ලබා ගත්තා විතරක් නෙවෙයි, ‘අධ්යාපනය’ අපේ ජීවිතවල කොටසක් බවට පත් කරන්නත් මේ සරල ගුරුවරයාට එදා පුළුවං වෙලා තිබුණා.
ඊට පස්සෙ මගේ ජීවිතයෙ විවිධ හැල හැප්පිම් එක්ක උසස් පෙළ හදාරන්න යන්න වුණේ තවත් ඉස්කෝලයකට සහ ඒත් එක්කම ගෙවුණු සංකීර්ණ කාල තීරු අතර ඔහු මට මග හැරිල ගියා, ජීවිතය එහෙමනෙ.
කාලයකට පස්සෙ මං ශ්රී ලංකා යුද හමුදා වෛද්ය බලකායට සම්බන්ධ වෙලා ඉන්නකොට, ඉතාම අහම්බෙන් කාගෙදෝ මළ ගෙදරකදි මට ආයෙම මේ දයාබර ගුරුවරයා මුණ ගැහුණා, අවුරුදු කීපයකට පස්සෙ වුණත් අපි එකිනෙකා හඳුණා ගත්තා, පුදුමයකට වගෙ, ඒ වෙද්දි ඔහුත් ස්වේච්ඡා හමුදා නිලධාරියෙක් හැටියට හමුදා සේවයට බැඳිලා. කොහොම හරි ඊට පස්සෙ කාලය අතිශය සංකීර්ණ වුණා සහ ඔහු කොහොමවත් මට යළි මුණ ගැහුණෙ නෑ.
දැන් අපි ආයෙ මුණ හැහුණා, මේ පාර නං ඔහුට මග හැරෙන්න දෙන්න හොඳ නෑ!
මං මෙහෙම කියන්නං! මං ගොඩ නැගීමක් කියල ගත්තොත්, ප්රේමදාස මුත්තෙට්ටුගේ Sir ත් ඒ ගොඩ නැගීමෙ කොටසක්. ඔහු මට හෝ වෙන කිසිම සිසු සිසුවියකට විශේෂත්වයක් පෙන්නුවෙත් නෑ, ඒත් දයාබර ගුරුවරයෙක් වෙලා අපට ඉගැන්නුවා, ඉගැන්නුවා කිව්වාට…
අනේ මන්දා!
CHAPA
Jan 1, 2022